23/05/2026
ඔබට මුහුදු වතුරේ ලුණු රහ දැනීලා තියෙනවද? අපිට ඒක කොච්චර පුරුදුද කිව්වොත් අපි කවදාවත් හිතන්නේවත් නෑ "ඇයි මුහුදට මේ ලුණු ආවේ?" කියලා. 🌊🧂
අපි දන්නවා අහසින් වැටෙන වැස්සෙත් ලුණු නෑ. ඒ වැහි වතුර එකතු වෙලා හැදෙන ගංගා වල වතුරෙත් ලුණු නෑ. ඒ ගංගා ඔක්කොම ගිහින් එකතු වෙන්නේ මුහුදට නම්, කොහොමද එකපාරටම මුහුදේ වතුර විතරක් ලුණු රහ වුණේ? ඒ මදිවට ඒ මුහුදු වතුරම ආයෙත් වාෂ්ප වෙලා අහසට ගිහින්, ආයෙත් වැස්සක් විදිහට වැටිලා ගංගා හරහා මුහුදට යනවා. මේ චක්‍රය කොච්චර වුණත්, මුහුදේ තියෙන ලුණු ගතිය අඩු වෙන්නෙ නැතුව දිගටම තියෙන්නේ ඇයි?
මේක නිකන්ම නිකන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක පිටිපස්සේ අවුරුදු බිලියන ගණනක් පරණ, මුළු පෘථිවියේම පැවැත්ම තීරණය කරන භූ විද්‍යාත්මක රහසක් හැංගිලා තියෙනවා. 🌍💧
මුහුදේ කොච්චර ලුණු තියෙනවද?
ලෝකේ තියෙන වතුර වලින් 97% ක්ම තියෙන්නේ මුහුදේ. මේ මුහුදු වතුරේ සාමාන්‍ය ලවණතාවය 3.5% ක් විතර වෙනවා. ඒ කියන්නේ මුහුදු වතුර ලීටරයක් ගත්තොත් ඒක ඇතුළේ ලුණු ග්‍රෑම් 35 ක් දියවෙලා තියෙනවා! ⚖️🧂
මේක ඇහුවාම ඔයාට ලොකු ගාණක් වගේ නොතේරෙන්න පුළුවන්. හැබැයි අපි මේක මුළු ලෝකෙටම අදාළ කරලා බැලුවොත් : මුළු සාගරයේම තියෙන ලුණු ඔක්කොම වතුරෙන් වෙන් කරලා අරගෙන, ලෝකේ තියෙන හැම මහද්වීපයක්ම, කන්දක්ම, කාන්තාරයක්ම වැහෙන්න පොළොවට දැම්මොත්, මුළු ලෝකයම මීටර් 166 ක් ඝනකම ලුණු තට්ටුවකින් වැහිලා යනවා! ඒ කියන්නේ තට්ටු 40 ක ගොඩනැගිල්ලක් තරම් උස ලුණු කන්දකින් මුළු ලෝකයම වැහෙනවා.
මේ ලුණු වලින් 85% ක්ම තියෙන්නේ සෝඩියම් සහ ක්ලෝරයිඩ්. ඒ කියන්නේ අපේ ගෙදර කෑම මේසේ තියෙන ලුණු කුඩුම තමයි! ඉතින් මේ තරම් මහා ලුණු කන්දක් කොහොමද මුහුදට ගියේ?
මේ කතාව පටන් ගන්නේ මුහුදෙන් නෙවෙයි, ගොඩබිමට වැටෙන වැස්සෙන්. අපි හිතන් ඉන්නේ වැහි වතුර කියන්නේ 100% ක්ම පිරිසිදු වතුර කියලා. හැබැයි වැහි වතුර කියන්නේ ටිකක් ආම්ලික දෙයක්. මේක පරිසර දූෂණය නිසා වෙන දෙයක් නෙවෙයි. වලාකුළු හැදෙද්දී ඒ වතුරට වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා දුර්වල කාබොනික් අම්ලය හැදෙනවා. 🌧️⛰️
මේ ආම්ලික වැහි වතුර ගල් සහ පස් උඩට වැටුණාම, අර ගල් වල තියෙන ඛනිජ ලවණ ටිකෙන් ටික දියකරගන්නවා. සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ දේවල් මේ වතුරට එකතු වෙනවා. ඊටපස්සේ මේ වතුර පාරවල් ඔක්කොම එකතුවෙලා ගංගා හැදිලා, අන්තිමට මුහුදට යනවා.
එහෙනම් ඇයි ගංගා වල වතුර ලුණු රහ නැත්තේ?
ඇත්තටම ගංගා වලත් ලුණු (දියවුණු ඛනිජ ලවණ) තියෙනවා! හැබැයි ඒ ප්‍රමාණය කොච්චර අඩුද කිව්වොත් (0.01% ක් විතර) අපේ දිවට ඒ ලුණු රහ දැනෙන්නේ නෑ. ඒ වුණත් මේ ගංගා අවුරුදු බිලියන ගණනක් තිස්සේ නොකඩවා මේ ලුණු ටික මුහුදට ගෙනිහින් දානවා.
ගංගා වලින් එන වතුර මුහුදට ගියාට පස්සේ, ඉර අව්වේ රස්නයට ඒ මුහුදු වතුර වාෂ්ප වෙලා ආයෙත් අහසට යනවා. හැබැයි මෙතනදී තමයි මැජික් එක වෙන්නේ! 🪤🌊
වාෂ්පීකරණය කියන්නේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක්. අහසට වාෂ්ප වෙලා යන්නේ H2O කියන වතුර අණු විතරයි. අර වතුරේ දියවෙලා තිබුණ කිසිම ඛනිජ ලවණයක් වාෂ්ප වෙලා යන්නේ නෑ. ඒවා ඔක්කොම මුහුදේ ඉතුරු වෙනවා. ඒ කියන්නේ වතුර ආවට ගියාට, ලුණු මුහුදෙන් යන්නේ නෑ. අවුරුදු මිලියන ගණනක් තිස්සේ මුහුද කියන්නේ මේ ලුණු එකතු වෙන මහා භාජනයක් වගේ වැඩ කරනවා. මේක තමයි මුහුදේ ලුණු රහට ප්‍රධානම හේතුව!
හැබැයි මේ ගංගා වලින් එන ලුණු වල කතාව සම්පූර්ණ නෑ. 1977 වෙනකන් විද්‍යාඥයෝ හිතන් හිටියේ ගංගා වලින් විතරයි මුහුදට ලුණු එන්නේ කියලා. හැබැයි 1977 දී ගලපගෝස් දූපත් කිට්ටුව මුහුදු පතුලට ගිය පර්යේෂකයින් කණ්ඩායමක්, කවුරුත් බලාපොරොත්තු නොවුණු අමුතුම දෙයක් හොයාගත්තා. 🌋🔥
මුහුදු පතුලේ යෝධ පැලුම් තියෙනවා. මේ පැලුම් අස්සෙන් මුහුදු වතුර පොළොව ඇතුළට ගිහින්, පෘථිවිය ඇතුළේ තියෙන රත්වුණ ගල් (400°C ට වඩා රස්නෙයි) එක්ක ගැටෙනවා. මේ මහා රස්නය නිසා, ඒ ගල් වල තියෙන තවත් ඛනිජ ලවණ වතුරට උරාගන්නවා. ඊටපස්සේ ඒ ලවණ පිරුණ වතුර ටික ආයෙත් මහා වේගයෙන් මුහුදු පතුලේ තියෙන විවර වලින් මුහුදටම විදිනවා!
මේ ක්‍රියාවලිය නිසත් මහා ලුණු ප්‍රමාණයක් මුහුදට එකතු වෙනවා. ඒ වගේම මුහුදු පතුලේ තියෙන යෝධ ගිනිකඳු පිපිරෙද්දීත් ක්ලෝරයිඩ් වගේ වායු සහ ලවණ කෙලින්ම මුහුදු වතුරට එකතු වෙනවා.
ඔබට දැන් හිතෙයි "අවුරුදු බිලියන ගණනක් තිස්සේ ගංගා වලිනුත් ලුණු එනවා, මුහුදු පතුලෙනුත් ලුණු එනවා නම්, ඇයි අද වෙද්දී මුහුද මීට වඩා තව ලුණු රහ නැත්තේ?" කියලා. ⚖️⏳
ඒකට හේතුව තමයි මුහුදේ ලුණු ප්‍රමාණය සමතුලිතව තියාගන්න වෙනත් ස්වභාවික ක්‍රම තියෙනවා.
මුහුදු සුළඟ : මුහුදු රළ හැප්පෙද්දී, ඒ වතුර බිංදු වාතයට එකතු වෙලා මුහුදු සුළඟත් එක්ක ගොඩබිමට ඇවිත් ලුණු ටිකක් ඉවත් වෙනවා.
සත්තුන්ගේ කටු හැදීම: මුහුදේ ඉන්න සමහර ජීවීන් තමන්ගේ කටු සහ ඇටසැකිලි හදාගන්න මේ වතුරේ තියෙන ලවණ පාවිච්චි කරනවා. උන් මැරුණාම ඒ කටු මුහුදු පතුලේ තැන්පත් වෙලා ගල් බවට පත්වෙනවා. එතකොට ඒ ලුණු සදහටම මුහුදු වතුරෙන් අයින් වෙනවා.
තව වැදගත් දෙයක් තියෙනවා. විද්‍යාවේ මේකට කියන්නේ "Residence Time" (රැඳී සිටින කාලය) කියලා.
මුහුදට එකතු වෙන එක සෝඩියම් අංශුවක් මුහුදේ අවුරුදු මිලියන 260 ක් විතර රැඳිලා ඉන්නවා! හැබැයි යකඩ අංශුවක් මුහුදට එකතු වුණොත් ඒක අවුරුදු 200 කින් විතර ආයෙත් මුහුදෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒ නිසයි මුහුදු වතුරේ යකඩ රහක් නැතුව සෝඩියම් (ලුණු) රහම තියෙන්නේ. මොකද ලුණු අංශු මුහුදේ රැඳෙන කාලය ගොඩක් වැඩියි!
මේ ලුණු එකතු වෙන එකේ භයානකම උදාහරණය බලන්න ඕනේ නම්, ජෝර්දානය සහ ඊශ්‍රායලය අතර තියෙන "මළ මුහුද" දිහා බලන්න. 💀🌊
මේකට ජෝර්දාන් ගඟෙන් වතුර ආවට, මේකෙන් එළියට වතුර යන්න කිසිම පාරක් නෑ. වතුර අයින් වෙන්නේ වාෂ්ප වීමෙන් විතරයි. මේ නිසා මේකේ ලවණතාවය 34% ක්! ඒ කියන්නේ සාමාන්‍ය මුහුදට වඩා 10 ගුණයක් ලුණු වැඩියි! මේකේ වතුර කොච්චර ඝනත්වය වැඩියිද කිව්වොත් මිනිස්සු මේකේ ගිලෙන්නේ නෑ, උඩ පාවෙනවා.
අපේ සාමාන්‍ය ගංගා සහ වැව් වල වතුර එකතු වුණාට ඒකෙන් එළියට යන්නත් පාරවල් තියෙන නිසා ඒවායේ ලුණු එකතු වෙන්නේ නෑ. හැබැයි මුහුදට එළියට යන්න පාරක් නෑ, ඒක තමයි අවසාන නැවතුම.
මේ ලුණු රහ කියන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි. මේ මුහුදේ තියෙන ලුණු නිසා තමයි අද අපි ජීවත් වෙන්නේ! 🌡️🌍
මුහුදු වතුර ලුණු රහ වෙද්දී ඒකේ ඝනත්වය වැඩි වෙනවා. මේ ඝනත්ව වෙනස නිසා තමයි මුහුදු පතුලේ තියෙන යෝධ දියවැල් හැදෙන්නේ. මේ දියවැල් වලින් මුළු ලෝකේ පුරාම රස්නය සහ සීතල බෙදාහරිනවා. මේක නැත්නම් යුරෝපය සම්පූර්ණයෙන්ම අයිස් වෙලා යනවා!
ඒ වගේම ලුණු නිසා මුහුදු වතුර මිදෙන උෂ්ණත්වය -1.8°C දක්වා පහළ බහිනවා. ඒ නිසා තමයි ධ්‍රැව ප්‍රදේශ වල සීතලක් තිබුණත් මුහුද සම්පූර්ණයෙන්ම අයිස් නොවී, ඒ සත්තුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හැදිලා තියෙන්නේ.
ඉතින් ඊළඟ පාර ඔයා මුහුදට ගිහින් ඒ වතුරේ ලුණු රහ දැනෙද්දි, මතක තියාගන්න ඔයා ඒ විඳින්නේ අවුරුදු බිලියන ගණනක් තිස්සේ ගල් දියවෙලා ආපු, මහා ගිනිකඳු වලින් විදපු, මුළු පෘථිවියේම අතීත කතාවක් කියලා. 🌟
සමහරවිට බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වෙන Europa වලත් (වතුර තියෙනවා කියලා හොයාගෙන තියෙන නිසා) මේ වගේම ලුණු රහ මුහුදක් තියෙන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා.
මුහුදු වතුර ලුණු රහ ඇයි කියලා මේ විදිහට ඔයා මීට කලින් දැනගෙන හිටියාද? මුහුදු පතුලෙත් වතුර රත් වෙන යෝධ කුහර තියෙනවා කියලා ඇහුවාම ඔයාට මොකද හිතුණේ? මේ ලිපියෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම්, අනිවාර්යයෙන්ම පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ ලිපියට Like එකක් දාලා, විද්‍යාවට සහ පරිසරයට ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා! 🌊🧂🌎👍💬🗣️
Written By Sulochana Dissanayake
Source : Internet